follow us:

ශ්‍රී ලාංකේය සුභාවිත ගීත ක්ෂේත්‍රය ප්‍රදීපස්ථම්භයක් සේ ඒකාලෝක කළ ප්‍රවීණ කලාවේදිනි විශාරද ප්‍රදීපා ධර්මදාස, වේදිකාව මත අනන්‍යතාව තහවුරු කළ සුවිශේෂී ගායන ශිල්පිනියක් වන්නීය. ඇය මනුෂ්‍යත්වයේ ජීවමය දිය බිඳ ළයෙහි උපන් කරුණාවෙන් ගායනාවන්ට මුසු කරමින් මවුවත් ගුණය පෙරදැරිව තම වර්ගයාට දායාද කළාය.

පී. කේ. ධර්මදාස හා හේමා ධර්මදාස යන මව්පිය දෙපළට දාව දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස මොරටුවේදී මෙලොව එළිය දුටුවාය. ඇයට ඈ දෙමව්පියෝ ප්‍රදීපා නිර්මලී හේමමාලී ධර්මදාස යැයි නම් තැබූහ. මොරටුවේ වේල්ස් කුමරි විදුහලෙන් එතෙර ව සුජාතාවට ආ ගමනේදී සෝමලතා සුබසිංහ මැතිනිය හමුවීම ඈ ගමන් පෙතේ උදා තරු ලකුණක් විය.1981 දී සඳකිඳුරු නිමැවුමේ කින්නරාවිය වූ පාසල් සිසුවිය නොබෝ දිනකින් ම තම ඇදුරුතුමිය හා එක්ව එකම පීඨිකාවකට විත් 1984 දී "මූදු පුත්තු" නම් සදා රමණීය වේදිකා නිර්මාණයේ "හින්නිහාමි" ලෙස යළි ඉපදුණාය.

ඉන් අනතුරුව අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ "සුබ සරණාගත" නාට්‍යයේ "කැතරින්"ගේ චරිතය නිරූපණය සඳහා ලද ආරාධනාව පිළිගත් ඈ පවුලේ ප්‍රශ්න මැද දරුවන්ගේ දියුණුව උදෙසා වෙහෙසෙන මැදි වයසේ මවකගේ චරිතයට පණ පෙව්වාය.

ආචාර්ය සලමන් ෆොන්සේකාගේ "සක්විති නික්මන" නාට්‍යයේ රජතුමාගේ දූ කුමරිය ලෙසින් ද, සුසිල් ගුණරත්නගේ "මුහුණු දෙකක්" වේදිකා නාට්‍යයේ "මාර්තා"ගේ චරිතයට ද සාධාරණය ඉටු කිරීමට ඇය සමත් වූවාය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රචිත " ද ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්" (The Good Woman of Setzuan) කෘතියට අනුගතව විජිත ගුණරත්න නිමවූ "සත්‍යාංගනාවී" වේදිකා නාට්‍යයේ "ෂෙන්ටේ" සහ "ෂූටා"නම් ද්විත්ව චරිතයන් ඈ එකලු කළාය. කපිල කුමාර කාලිංගගේ "නෙළුම් පොකුණේ" දෙපා අහිමිව, අසම්මතවත්, අදිටන්ශීලීවත්, ජීවිතය විනිවිද දකින්නට වෙර දැරුව "රාධා" වූයේ ද ඇයමයි.

තම ගම්බිම්, අස්වැන්න නොරටවුන්ට පාවා දෙනු එරෙහිව අභීතව කෑ මොර දුන් මව් පොළොවේ සෙබළිය "මලී" සේ ඇය කාහල නාදය නැගුවේ "උක්දඬු ගින්නේ" ය. "මුහුණ දෙකක්", "සුභ සරණාගත", "නාග ගුරුළා", "සක්විති නික්මන" සේ ම මෙරටේ නාට්‍ය ලොවේ මහදුරු සරච්චන්ද්‍රයන් තම "සිංහබාහු" නිමවුමේ "සිංහසීවලී" ලෙස ද, ආර්. ආර්. සමරකෝන්ගේ දූවිලි හෙවත් නිල මැස්සන්ගේ පාරාදීසයෙහි "චමරී" ලෙස ද රඟන්නට වරම් පිදුවේ එවකට නව යෞවනියක් ව සිටි ප්‍රදීපාට ය.

ජයන්ත චන්ද්‍රසිරිගේ "වෙදහාමිනේ" නම් ටෙලි වෘතාන්තයේ තේමා ගීතය වූ "දූවිල්ලෙන් සැදුන ලියේ" ගීතය ගායනා කරමින් ප්‍රදීපා ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූවාය. මනුෂ්‍යත්වය හා බැඳුණු දේශීය වෙදකමේ මහිමය කියාදුන් "වෙදහාමිනේ" ටෙලි නාට්‍යය සේම "දූවිල්ලෙන් සැදුන ලියේ" නම් ගීතය ද රසික රසිකාවියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රවිය.

"සමුගැනීමේ නවාතැන" වූ කලී ඇගේ ප්‍රථම පුංචි තිර රැඟුමයි. විණාගේ චරිතය රඟපෑ ප්‍රදීපාගේ රැඟුම් රිද්මය වීණා ස්වරයක් සේම මධුර විය. එහි ම ගායනශිල්පී අමරසිරි පීරිස් සමඟ යුග ගීයක් ගැයීමට අවකාශ ලැබීම ඈ ලද තවත් සුවිශේෂී අවස්ථාවක් විය.

සුදත් මහදිවුල්වැවගේ "ධවල රාත්‍රිය" ටෙලිනාට්‍යයේ "කිසා" ගොළු තරුණියක වූ නිසා ‍ප්‍රදීපාගේ හඬ ප්‍රේක්ෂකයාට අසනු නොහැකි විය. නමුදු එහි පසුබිම් ගීත ඈ ගැයුවාය. එලෙසින්ම සෝමරත්න දිසානායකගේ "අවසඳ" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙමින් "සෝමා" නම් චරිතය ද නිරූපණය කළාය. තුසිත ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "යශෝධරා නම් ඇය" හි රඟපෑමෙන් පසු ඇය අවසාන වරට රඟපෑවේ මාලනී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද "පිංමද පුතුනි "ටෙලිනාට්‍යයේය. ප්‍රදීපා වූ කලී අතොරක් නැතිව රඟපෑ චරිතයක් නොවූවාය. ප්‍රදීපාගේ ප්‍රතිභාව අභිප්‍රේත කලා නිර්මාණ අනුව ඉතා සුනම්‍ය ව උච්චාවචනය වනු දැකිය හැකි විය. ඈ රංගාවතරණය කළ ටෙලි දිගහැරුමේ විදාහළ වෙසෙස් නෛපූණ්‍ය සහෘද දෙනයනට රසාංජනයක් ම විය.

1992 වර්ෂයේ දී ඇය විශිෂ්ට ගීත එකතුවක් සහෘද සජ්ජනයන් උදෙසා පිළිගැන්වීමට සූදානම් වූවාය. ප්‍රේමය, විරහය සේම කාලීන සමාජ ප්‍රශ්න ද ඇයගේ ගීතයට විෂය විය.රාජ්‍ය මාධ්‍යවලින් එල්ල කළ වාරණ තහංචි මධ්‍යයේ "විකල්ප මාධ්‍ය කවයේ" අනුග්‍රහය ඇතිව "දූවිල්ලෙන් සැදුන ලියේ" කැසට් පටය අති සාර්ථක අන්දමින් සිය සහෘදයන්ගේ දෝතට තිළිණ කරන්නට ප්‍රදීපාට හැකිවිය.

1997 වර්ෂයේ දී "කඳුළු තොටුපළ" නමින් නවතම ගීත එකතුවක් ද එළි දැක්වූවාය. "කඳුළු තොටුපළ" එළිදැක්වුණු දා කොළඹ මහජන පුස්තකාල භූමිය සිය රසික රසිකාවන් පිරී තිබුණු අතර "කඳුළු තොටුපළ" ද වාර්තා තබමින් අලෙවිය.ප්‍රදීපාගේ තෙවන සංයුක්ත තැටිය වූ "සත්‍යාංගනා" 2004 වර්ෂයේ දී කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී එළිදැක්වූයේ සුවහසක් රසික ප්‍රජාවගේ ආශිර්වාදය මධ්‍යයේ ය. සත් වසක නිහැඬියාව බිඳලමින් 2012 දී ඇය "හැන්දෑවට කලින් එන්න" ගීතාවලිය සහෘද රසිකත්වයට පිරිනැමුවාය. හැන්දෑවට කලින් නෙළුම් පොකුණ රඟහලට පැමිණි සහෘදයින් ඉන් අමන්දානන්දයට පත් වූ බව ඔවුන්ගෙන් ලද ප්‍රතිචාරවලින් පැහැදිලි විය.

ඇය විශිෂ්ට රංගවේදිනියක ලෙසින් ද විශිෂ්ට ගායනවේදිනියක ලෙසින් ද ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකින් ම පිදුම් ලැබුවාය. උක්දඬු ගින්නේ "මලී" ලෙසඈ රාජ්‍ය නාට්‍ය උළෙලේ "හොඳම නිළිය" වූවාය.1997 වර්ෂයේ විශිෂ්ටතම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සාවිත්‍රිගේ රාත්‍රිය චිත්‍රපටය උදෙසා සරසවි හා ජනාධිපති සම්මාන ද්විත්වයෙන් ම ආශිර්වාදය ලැබුවාය. ඇය "යාල්දේවී" ගීතය ගායනා කරමින් සමාජ සංහිඳියාව ඇති කිරීමට කරන ලද නිර්මාණ දායකත්වය උදෙසා කොළඹ දෙමළ සංගමයෙන් ගෞරව සම්මානයට පාත්‍ර වූවාය. ඒ 2012 වර්ෂයේ ලෝක කාන්තා දිනයේ දී ශ්‍රේෂ්ඨ කාන්තාවන් ඇගයීමට සංවිධානය කරන ලද සම්මාන උළෙලක දීය.

ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ "අරගලය" චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනාවට ප්‍රවිෂ්ට වන ප්‍රදීපා ඉන් අනතුරුව මාරියෝ ජයතුංගගේ "නිදි යහන කැළඹුණි" සිනමාපටය වර්ණවත් කරනු පිණිස සිය ගායනාවන් එක් කළාය. සමන්ත නීලවතුරගේ "සාවිත්‍රිගේ රාත්‍රිය", මාරියෝ ජයතුංගගේ " හඬන කිංකිණි", "මිරිවැඩි සඟලක්" , ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ " තහනම් ගහ" යන චිත්‍රපට සඳහා ද පසුබිම් ගී හඬ එක් කරන ලද ඈ තම ගායනාවන්ගෙන් පුළුල් පරාසයක පැතිරී තිබෙන වග සනාථ කළා ය. බෙනඩ් රත්නායකගේ "ඉර හඳ යට" චිත්‍රපටයේ තම ගායනාවන්ගේ සහෘදයා මුසපත් කරවමින් ඈ තම ගායන දිවියේ තවත් පියවරක් ඉදිරියට පියනැඟුවාය.

වන්දනීය දිවි ගමනේ සහන් එළියක් සේ ඇය හා අත්වැල් බැඳි දයාබර සැමියාණන් වූ ඩලස් අලහප්පෙරුම සමඟ 1994 වර්ෂයේ දී ප්‍රදීපා යුග දිවියට එළඹුණාය. වර්තමාන පාර්ලිමේන්තු අමාත්‍යධූරයක් දරන එතුමා ප්‍රදීපාගේ සෙනහසේ සෙවනැල්ලම වන්නේය.මහිම ඉඳුවර, කෞශික නාලන්ද ඈ සපිරිවැරූ පුත්‍ර ලාභයන්ය.

කලා කෞශල්‍යයත්, උගත්කමත් එක්තැන් වූ විට අත්පත් කර ගත හැකි සමාජ ප්‍රස්තාවන් මෙපමණ යැයි කිව නොහැක. ප්‍රදීපා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විෂයයෙන් ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන්නීය. ඉන්දියාවේ ලක්නව්හි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත විශාරද විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය සංගීත විශාරදවරියක් ද වන්නීය. එලෙසින්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක් වන ඇය ඇමරිකාවේ කර්ක්වුඩ් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියක ද වන්නීය.

අව්‍යාජත්වය තම ගායනාවන්ට එක් කරමින් ඈ නිරතුරුවම මිනිසත්කම වැපිරුවාය. ගී ගායනා මිනිස්සුන්ට ඈ දෝතින්ම පැන් බඳුනක් පිරි නැමුවාය. ගී අසනා මිනිස්සුන්ට ඈ දෝතින්ම පන් පැදුරක් එළා දුන්නාය. කලා ලොව සත්‍යාංගනාව සේම දූවිල්ලෙන් සැදුන ලිය වෙමින් මිනිසා වෙනුවෙන් මිනිසාට සිය යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන්නීය.