follow us:

ප්‍රදීපා සිය සාර්ථකත්වය හිතට ගත්තේ එහි වූ සමාජ වගකීම නිසා පමණි. ඇගේ විනීත බවත්, නිහතමානී බවත් මැකී නො ගියේ ය. සුරතල් පුතුන් දෙදෙනකුගේ මව, වගකිවයුතු සමාජ සේවකයෙකුගේ බිරිඳ වශයෙන් ඈ විශාල වගකීමකින් යුතුව ඇගේ කලා ජීවිතය ගෙන යයි.ඇයට අපගේ හද බැඳි ආදරය ගෞරවය පුදා සිටින අතර ඇගේ සියලු අනාගත කර්තව්‍යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

සෝමලතා සුබසිංහ


ප්‍රදීපා , ගී කෙත පෝෂණයට උරදුන් ගායිකාවකි. ජනතාවගේ රසවින්දනය පුබුදුවන්නට වෙර දරන ගායිකාවකි. එසේ ම කරන දේ හරියට කරන ගායිකාවකි. ඕනෑම ගීතයක් රසික හදවත්වලට කාවදින අයුරින් ගායනා කිරීමේ අපූරු හැකියාවක් ඇයට තිබේ. වෘත්තීය ගායිකාවක ද නො වී තම ආත්මගරුත්වය ද රැක ගනිමින් ගී කෙත පෝෂණය සඳහා වෙහෙසෙන ඇයට මම මගේ හෘදයංගම ආශිර්වාදය පුද කරමි.

ආචාර්ය රෝහණ වීරසිංහ


ප්‍රදීපා, තම ගීතය තුළින් කතා කරන්නට උත්සහ ගත්තේ හුදු ආදරය ගැන ම නොවේ. සමාජයේ දැවෙන ප්‍රශ්න ඇය, තම ගීතයේ තේමාව කොට ගනිමින් ගායන ශිල්පිනියක ලෙසත් ඇය, යම් සමාජ මෙහෙවරක යෙදුණා යැයි මම විශ්වාස කරමි. අරුත්සුන් පද මාලා සහ ඝෝෂාකාරී ශබ්ද රටාවන් එක්කොට ගීත ලෙස නිර්වචනය කරමින් රසිකයා අතරමං කොට ඇති මෙවන් යුගයක ස්වකීය අනන්‍යතාව රැකගනිමින් වාණිජමය පරමාර්ථයන් ගෙන් බැහැරව, මේ ගයන්නේ ගීතයක් ය, නොඑසේ නම් මේ ඇසෙන්නේ ගීතයක් ය යන්න රසිකයාට වටහා ගැනීමට ඉඩ සලසමින් ආත්ම අභිමානයෙන් දෙපයින් නැගී සිටීමට ඇයට හැකිවීම කලා ලෝකයේ භාග්‍යයක් ලෙස මම දකිමි. ජනප්‍රියත්වය පසුපස හඹායෑමේ බොළඳ රුචියක් ඇය තුළ, නොමැති වීම ගැන සහෝදර ශිල්පිනියක් ලෙස මම සතුටු වෙමි.

විශාරද නීලා වික්‍රමසිංහ


කාන්තා වීරවරියන්ට කවුරුත් කැමතියි. එබඳු චරිත ඒ තරමට ම දුර්ලභ වීමයි ඒකට හේතුව. ඉතිහාසයේ සහ සාහිත්‍යයේත් නාට්‍යයේ හා සිනමාවේත් වීරවරියන් හමුවන්නේ කලාතුරකින්.බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ Good Woman of Szchewan නාටකය අසූවේ දශකයේ දී "සත්‍යාංගනාවී" නමින් කරළියට ගෙනවා. එහි ෂෙන්ට් ගේ භූමිකාව නිරූපණය කළ ප්‍රදීපා ධර්මදාස, ඈ නිරූපණය කළ චරිතයට ම සමාන්තර වීරවරියක් කියා මට හිතෙනවා.

ලූෂන් බුලත්සිංහල

සිංහල නාට්‍යාම්බරය එකලු කළ පුන් සඳ වන් සරත්චන්ද්‍ර ඇදුරාණන්ගේ "සිංහබාහු" ගීතාංග නාටකයෙහි සිංහ සීවලී ලෙස රඟන්නට, ගයන්නට වාසනා ලද, ගේය, රංගන උභය මාධ්‍යයන්හි එක සේ සුපරිචිත ප්‍රදීපා ධර්මදාස නම් වන කලා ශිල්පිනිය වෙත ගලා එන සුභ පැතුම් අතරට මගේ සුභාශිංසන ස්වරය ද මුසු කරනුයේ ඉමහත් සෙනෙහසිනි,සොම්නසිනි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා, රූපවාහිනී, ගුවන් විදුලි ආශ්‍රිත සංගීත ප්‍රසංග ආදී සකලවිධ ක්ෂේත්‍රයන් රස ගන්වමින් වත්මන් කලා ලොව සිසාරා ප්‍රදීපා, ප්‍රතිභා ශ්‍රේණීන් හමා යන්නේය. ප්‍රදීපා නමැති චතුර කලාවේදිනියට තවත් දිගු කලක් සිය කලා මෙහෙවරෙහි යෙදෙනු වස් ආයු, වර්ණ, සැප, බල, නැණ සපුරා ලැබේවා!

ආචාර්ය පණ්ඩිත් අමරදේව


කොතැනක කොයි මොහොතක දී කවර ශ්‍රව්‍ය මාධ්‍යයක් ඔස්සේ ඇසුණත්, ළං ව නොළං ව දුරුව නොදුරු ව කෙසේ ඇසුණත් ප්‍රදීපා ධර්මදාසගේ ගීතය අපට වහා හඳුනා ගත හැකිය. ඊට හේතුව ඇයට ම අනන්‍ය වූ හඬකින් ඇය ගී ගයන බැවිනි. ඇය කිසිදු ගායිකාවකගේ අනුකාරක ගිරවියක නො වන්නා සේ ම ඇයගේ හඬ අනුකරණය කරන්ට යත්න දරන්නියන් ද නොමැති බැවිනි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න


ප්‍රදීපා ධර්මදාස කාන්තාරය තුළ ක්ෂේමභූමියක් නිර්මාණය කළ කලාකාරියක බව මම කියමි. නෛසර්ගික කුසලතාවෙන් ද, සතතා අභ්‍යාසයෙන් ද, මානුෂවාදී ජීවන දෘෂ්ටියකින් ද හෙබි මේ ගායිකාවට "හොඳ ගීත හොඳින්" ගායනා කළ හැකිය. එසේ කිරීමෙන් ඇය ඇයගේ මියුරු හඬ අපගේ දෙසවන් තුළ සදාකාලිකව තැන්පත් කරන්නීය. ජීවිතය උදෙසා අප සූදානම් කරන්නීය. ඇය දැයට වාසනාවකි.

ජයන්ත චන්ද්‍රසිරි


කොවුල් හඬට තම හඬ සම යැයි       සිතන
වවුල් වත රකින කපුටන් දැන              හැඳින
පසල් දනව්වක සිට කොළඹට            පැමිණ
අවුල් සිත් මියුරු ගීයෙන්                     පිරිමදින

රැඳී නොසිට බල කඳවුරුවල                  තුමල
අදීනව නිබඳ සිය කටහඬ                        විසුල
බැඳී සෙනෙහසින් අප සිත් කල            සසල
ප්‍රදීපය නුඹය හෙළ ගී කෙත                     දිදුල

මිනිස්කම ගයා පෙන්වන්නට                  රටට
මහත් වෑයමෙන් නුඹ සැරසෙන            කලට
අපිත් ඉතින් පුළුවන් විදියට                       අපට
අදත් හෙටත් සවියක් වන්නෙමු            නුඹට

බණ්ඩාර ඇහැළියගොඩ


මා අසන්නට කැමති බොහෝ ගී අතර මගේ ආත්මය සමඟ ළෙන්ගතු වූ ගී තුන - හතරක් වෙයි. ප්‍රදීපා ධර්මදාස ගේ "දූවිලි" ගීතය ඒ දෙක - තුනෙන් එකකි. මම, ගීත සාහිත්‍යය පිළිබඳව විචාරකයෙක් නොවෙමි. සත්‍ය වශයෙන් ම කිවහොත් මම ප්‍රදීපා ගේ රසිකයෙක් වෙමි. රසිකයකුට කිව හැක්කේ "හරිම රහයි" යන්න පමණි. එය සැබවින් ම හෘදයාංගම ප්‍රතිචාරය ද වෙයි. මම ඇගේ හඬට ආදරය කරමි. එහෙත් ඒ ඇගේ හඬෙහි මිහිරි, සුකොමළ බවට නොවේ. ළයාන්විත අයෝමය බවට ය.

කරුණාදාස සූරියආරච්චි

ප්‍රදීපා මං හඳුනාගන්නේ මීට වසර 15 කට  පමණ පෙර ලුම්බිණි රඟහලේදී වේදිකාගත වූ කපිල කුමාර කාලිංග අධ්‍යක්ෂණය කළ "නෙළුම් පොකුණ" නාට්‍ය තුළිනි. කාලයාගේ ඇවෑමෙන් ගායන ක්ෂේත්‍රයට ඉතා හෙමින් අවතීර්ණ වූ ප්‍රදීපා ඇයගේ මුල්ම කැසට් පටය සඳහා ඉතා සාරවත් ගීත රචනා සහ මධුර තනු නිර්මාණය කරගන්නට වෙහෙස වූ බව දැනුණේ එම කැසට් පටය එළි දැක්වූ මොහොතේය. ඇය යන එන්නන් වාලේ ගීත ගැයුවේ නැත. තෝරා බේරා ගත් නිර්මාණ වලට පමණක් දායකත්වය සැපයුවාය. සාරවත් ගීත රචනා, මධුර තනු සොයාගන්නට වෙහෙස වූවාය. ප්‍රදීපාට ම හිමි වූ ගායන ශෛලියක් ඇය සතුව පවතී. ඇය ගයන ගීතවල ඇයටම අනන්‍ය වූ ලක්ෂණ පිහිටා ඇත.

නන්දා මාලිනි 


ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ පහළ වීම පිණිස එක ම එක හොඳ සංවාද ඛණ්ඩයක් පමණක් සෑහේ. ප්‍රදීපා ධර්මදාස , ප්‍රසංග කලා ක්ෂේත්‍රයේ පහළ වූයේ අන්න එහෙමයි. ප්‍රදීපා ධර්මදාස , ගායිකාවක් ලෙසින් අභිෂේක කරනු ලැබුවේ " වෙද හාමිනේ " ටෙලිනාට්‍යයේ " දූවිල්ලෙන් සැදුණු ලියේ " ගීයයි. ඊට පස්සේ ගායන ක්ෂේත්‍රයේ ඇයට හිමි තැන සොයා ගෙන ඈ , දිගු ගමනක් ආරම්භ කළා. අවාසනාවට වගේ සුසුම්ලාප රැගත් කවි විරිඳු ගායනා ගීත ගායනා ලෙසින් වටහා ගන්න ක්ෂේත්‍රයක ප්‍රාසාංගික කටහඬක් ඇති ප්‍රදීපාගේ ගායන ප්‍රතිභාව තවමත් නිසි අයුරින් ප්‍රයෝජනයට අරගෙන නැහැ. අවිද්‍යාව බබළවන මාධ්‍ය ජාලාවලින් අපේ සංගීත රසිකත්වය තව තවත් මොට කරමින් සිටින වකවානුවක ප්‍රදීපා ධර්මදාස තම අරගලය අතහැර නොතිබීම සතුටට කාරණයක්. අපි ඇයට මුළු හදවතින් ම සුබ පතමු.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


දිගින් දිගටම ගායනය ප්‍රගුණ කළ ප්‍රදීපා , නිසරු හරසුන් ගී වැසි වසින සමයක , අරුත්සරු මියුරුම ගී රැසක් ලාංකේය සහෘද ප්‍රජාවට තිළිණ කළාය. නිමල සිහිලැල් දියත්‍තක් බඳු ඒ ගීවලින් වඩාත් ප්‍රකට කළේ ඇය සතු භාෂා සංවේදීතාවයයි; අරුතෙහි හා වින්දනයෙහි හරය උකහා ගන්නට , එම අරුත් සිය භාවික ගුණ සපිරි හඬින් ප්‍රතිකථනය කරන්නට ඇය සතු ශක්‍යතාවයි.

රත්න ශ්‍රී විජේසිංහ


සාධාරණ මනුෂ්‍යත්වයේ දයාබරත්වයත්, අසාධාරණ අමානුෂිකත්වයට එරෙහිව විරෝධයත්, ඇය ඇගේ ගීතයට මුසු කර ගත්තාය. සිය නිර්මාණවලින් ප්‍රකාශිත දර්ශනය හා ඇගේ පෞද්ගලික ජීවිත පැවැත්ම අතර පරස්පරයක් තබා නොගත්තාය. කලා ක්ෂේත්‍රයේ සියල්ලන්ගේ ම නොමද සෙනෙහස, ඇයට හිමි වන්නේ ඇයගේ මේ පිවිතුරු පැවැත්ම හේතුවෙනි. වාණිජකරණය වූ රැල්ලක ආගාධයට ගසාගෙන යන කැසට් පට ප්‍රවාහයේ උඩුගං බලා යන දුෂ්කර ගමනකට ඇය එදා මෙන්ම අදත් නොපැකිලව ඉදිරිපත් ව සිටින්නීය. ඒ අභියෝගාත්මක පියවර අපට ද ධෛර්යයකි. ශක්තියකි. මෙහිදී ප්‍රදීපා ලබන ජයග්‍රහණය අප ප්‍රාර්ථනා කරන යහපත් ගීත කලාවක හෙට දවස උදෙසා සුභ ලකුණක් ම වෙයි. ඇයට අපේ ආශීර්වාදය ද හිමිවන්නේ ඒ ප්‍රාර්ථනය පෙරදැරිවය.

කුලරත්න ආරියවංශ